මා

කාන්තාවන්ට තිබෙන ෆේස් බුක් සමූහ වල සැරිසරද්දී නිතරම දකින දෙයක් තමයි ගොඩක් මවු වරු අදහස් බෙදා ගන්නවා. එක වර්ගයක අදහස් මම මේ විදිහට සම්පිණ්ඩනය කරන්නම්.


fb-like-beg

 


“.මට මෙන්න මෙහෙම .. ගැටළු තියනවා..මම ගොඩක් පීඩනයෙන් ඉන්නේ. නිතරම මගේ අතින් දරුවා ගුටි කනවා. පස්සේ මට දුකයි. ඒත් නිතරම දරුවා දඟ වැඩ කරද්දී ගහන්න හිතෙනවා ”

මවක් ලෙස මේවා දකිද්දී දුකයි. අනුකම්පයි. දරුවා ගැන වගේම එහෙම කියන අම්මා ගැනත්.
මේ ලිපිය ලියන්නේ මෙහෙම කියන කාන්තාවන්ට …..

සමහර අම්මලා දරුවට ගැසීමට පොඩි excuse එකක් ගන්නවා. ඔබ දන්නවා දරුවට පහර දෙන එක වැරදියි කියල. නමුත් “අනේ මට ස්ට්‍රෙස් නේ ඒ නිසා ගැහුවා” කියල හිත හදා ගන්නවා.

මේ ලෝකේ ස්ට්‍රෙස් නැති අම්මලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු අතරේ නැහැ. මොකද අපි හැමෝටම කරේ ගහගෙන අදින්න කුරුසයක් තියනවා. මොන තරාතිරමක වුනත්. මේ ලියන මටත් ලොකුවට ස්ට්‍රෙස් එක තියනවා. ගෙයක්, චූටි දරුවෙක්, පොඩි ව්‍යාපාරයක්, ලොකු FB ගෘප් එකක් බලන මට ස්ට්‍රෙස් එක ඕනෙවටත් වඩා තියනවා. ඒ නිසා ස්ට්‍රෙස් එක ඔබට විතරක් නෙවේ හැමෝටම තිබෙන දෙයක්. ආර්ථික කරදර, පාරේ ට්‍රැෆික්, නෑදෑයන්ගේ ගැටළු මේවා අපි කාටත් අඩුවක් නැතුව තියනවා.

ඔබට ස්ට්‍රෙස් එක නිසා දරුවාට ගැහෙනවා නම් ඇයි ඔබ පාරේ ඉන්න පොලිස් නිලධාරියෙක්ට නොගහන්නේ?

ඔබ ඇයි ඔෆිස් එකේ බොස්ට නොගහන්නේ?

ඇයි දන්නවද ඒ ගොල්ල හැමෝම අතහැරලා දරුවාටම ගහන්නේ?

දරුවා අහිංසක නිසා. පෙරලලා ඔබට ගහන්න බැරි ඒ අහිංසකයට ගහන එක ගොඩක් ආරක්‍ෂිත නිසා. හදාගන්න ළමයින්ට ගහන එක අපේ රටේ පිළිගන්නා ආකල්පය නිසා කවුරුත් ඔබට මොකුත්ම කියන්නේ නැහැ.

ඔබට ස්ට්‍රෙස් නම්

ඔබේ සැමියාට කතා කරන්න.

“මම පීඩනෙන් ඉන්නේ ඔයා මාව කොහේ හරි ගෙනියන්න අද හවසට”

කෙලින්ම ඔහුට කියන්න. පිරිමින්ට ඔය ඉඟි, වහෙන් ඔරෝ කතා හරියන්නේ නැහැ. ඇඟිල්ලෙන් ඇනල කියන්නම ඕනේ. කාරුණිකව, පැහැදිලව ඔබට විය යුතු දේ කියන්න.

ඔබට ස්ට්‍රෙස් නම් පැත්තකට වෙලා තරහෙන් ඉඳල නිකරුනේ හබී එක්ක වලියක් දාගෙන ඒකෙ වාඩුව හය හතර නොදත් පොඩි එකා පිටින් යවන්න එපා. ඒ පීඩනය වැඩිහිටි කෙනෙක්ගේ සහයෙන් නැති කර ගන්න. ඒ සහය ගන්න සුදුසුම කෙනා ඔබේ සැමියා. ඔබේ සහෝදරියන් , මිතුරියන් ඉන්නේ මේවගේ අමාරු කාල වලට උපකාර ගන්න තමයි.

චූටි දරුවෝ ඉන්න අම්මලාට ස්ට්‍රෙස් එන හේතු තියනවා.

හරිහමන් නින්දක් නැති නිසා – ඔබ සැමියා එක්ක , සහෝදරයෝ එක්ක හවුලේ දරුවා/ දරුවෝ බලාගන්න. ඒ වගේම දරුවන්ව නිසි ලෙස sleep training කරන්න. එවිට ඔබට හොඳින් නිදා ගන්න ඉඩක් ලැබෙනවා.

ලිංගික සතුට මගහැරෙන නිසා – ඒ ගැන සැමියා එක්ක කතා කරන්න. ඒ වෙනුවෙන් හිතලම දවසක් වෙලාවක් වෙන් කරගන්න.

වැඩ වැඩිකම – චූටි දරුවෝ ඉන්න ගෙයක් හෝටලයක් වගේ තියාගන්න එක සේවකයෝ නැති ගෑනියෙක්ට ලේසි නැහැ. ඒ නිසා ඕවා පස්සේ යන්න එපා. දවස තල්ලු කර ගන්න. රෙදි ගොඩක් නවන්නේ නැතුව එළියේ තිබ්බ කියල ගැටළුවක් නැහැ. ගමනක් යන වෙලාවට මැදලා අඳින්න. කවුරුත් අපේ ගෙවල් බලන්න එන්නේ නැහැ. ඔය සේරම දේවල් දරු පැටියා ලොකු වුනාම කරන්න පුළුවනි.

අවසාන වශයෙන් අපි හැමෝම මවුවරු ලෙස අසම්පූර්ණයි. ඔබ මෙතෙක් දවසක් දරුවාට පහර දුන්නා වෙන්නත් පුළුවන. ඒකට කමක් නැත. අද සිට පහර දෙන්න එපා. එය දරුවාගේ මානසික වර්ධනයට, ආකල්ප වර්ධනයට අහිතකර ලෙස බලපානවා.

ඔය නොදරූ වයසේදී දරුවෝ ගොඩක් දෙමාපිය ආදරය බලාපොරොත්තු වෙනවා. දඟ වැඩ කරන්නේ ඔබේ අවධානය තවත් ඕනේ නිසා. දරුවා දඟ නම් ඔබ තේරුම් ගන්න ඕනේ තව තවත් දරුවා සමීප කර ගන්න. ආදරය කරන්න. දෙවෙනි දරුවක් ඉපදුන ගමන් ලොකු දරුවා ගැන අවධානය අඩු කරන්න එපා. වෙනදාටත් වඩා ලොකු දරුවාට ආදරය පෙන්වන්න. එවිට දඟය අඩු වෙනවා විතරක් නෙවෙයි සහෝදරයෝ අතරේ අනාගතේ ඇතිවිය හැකි බේද පවා අවම වෙනවා.

කඩෙන් කන ආහාර වේලකින්, බිඳුන භාජනයකින් , අපිළිවෙල ගෙයකින් දරුවාගේ අනාගතේට හානි වෙන්නේ නැහැ. මනස අනාරක්ෂිත වෙන්නේ නැහැ. නමුත් කන ගුටි වලින්, ඔබේ බැනවැදීම් වලින් , අනාදරයෙන්, අවධානය නොදීමෙන් දරුවාගේ අනාගතයට හානි වෙනවා.

ඔබේ දෙමාපිය බවත් අනිවාර්යයෙන්ම හානි වෙනවා.

SHARE