පුං

චි පුංචි ආදරණිය නෝක්කාඩු සහ බහින් බස් වීම් සෑම විවාහක යුවලක් අතරම පවතිනවා. නමුත් අවාසනාවකට සමහර අඹු සැමියන් මේ බහින් බස් වීම් අසුන්දර ලෙසින් දික් ගස්සවාගෙන, දික්කසාදය දක්වා ගෙන යනවා. දෙදෙනෙකු එකිනෙකාව නොරිස්සමින් ජිවත් වීම තරම් මානසික පීඩාවක් තවත් නැහැ. බොහෝ අකාරුණික බහින් බස් වීම් වල අවසාන ප්‍රතිඵලය වන්නේ එකිනෙකා නොරිස්සන යුවලක් බිහි වීමයි. අද අපි Goodhousekeeping.lk වෙබ් අඩවිය ඔස්සේ කතා කරන්නේ මේ පිළිබඳවයි.


fb-like-beg

 


බහින් බස් වීම් දුර දිග යන්නේ ඇයි?

බොහෝ බහින් බස් වීම් දුර දිග යන්නේ අකාරුණික බව නිසයි. දෙදෙනෙකු අතර ඇති වන වාදයක් සාර්ථකව නිම කල හැක්කේ දෙදෙනාම තර්කානුකුලව කරුණු දිග හැර දැක්වූ විටයි. තමාට අදාළ කරුණ පිළිබඳව පැවසීමට ඇති දේ පැහැදිලිව සහ සෘජුව පැවසීමෙන් බොහෝ බහින් බස් වීම් ඉක්මණින්ම කෙලවර කර ගත හැකියි. නමුත් බොහෝ අය වාදයෙන් දිනන්නට උත්සාහ කරන්නේ අනෙකාව අපහාසයට ලක් කරමින් හෝ තර්ජනාත්මකව බිය ගැන්වීමෙනුයි. ඉතින් බහින් බස් වීම් අසුන්දර ලෙස දුර දිග යාම අහන්නත් දෙයක්ද?

සිතේ ඇති දෙය නොපැවසීම

අනවශ්‍ය දබර ඇති වීමට බලපාන එක් හේතුවක් තමයි සිතේ ඇති අවංක හැඟීම් හෙළි නොකර සිටීම. තමන්ගේ සහකරුගේ යම් හැසිරීමකට ඔබ අකමැති නම් ඒ බව කරුණාවන්තව පවසන්න. ගැටලුව එතැනින්ම අවසන් වනු ඇත. ඒ වෙනුවට බොහෝ දෙනා කරන්නේ තමාගේ සිතේ ඇති ගැටලුව සඟවාගෙන, වෙනත් සුළු සුළු දේවල් කෙරෙහි කෝප වීමයි.

උදා: සැමියා තමා කෙරෙහි දැක්වූ ආදරය අඩු යැයි දැනෙන විට ඒ පිලිබඳ නොවිමසා, සැමියා ප්‍රමාද වී නිවසට පැමිණීම ගැන දබර කරන්නට යාම.

මෙවැනි අවස්තාවලදී අනෙකාට ඔබේ සිතේ ඇති දේ තේරුම් ගැනීමට ශක්තියක් නැති නිසා, ඔබ වෙනත් කරුණු ගැන බහින් බස් වීමට යාම අර්ථ විරහිතයි. මින් ඇති වන්නේ වැරදි වැටහීම් සහ සිත් රිදවීම් පමණයි.

අදහස් වල ඇති වෙනස්කම් ඔබේ පවුලට එක් කල යුත්තේ විවිධත්වයක් මිස බහින් බස් වීම් නොවේ

අප එකිනෙකාගේ අදහස් එකිනෙකාට වඩා වෙනස් බව අපි හැමෝම දන්නවා. වෙනස් අදහස් ඇති දෙදෙනක් විවාහ වූ විට කල යුත්තේ ඒ විවිධත්වයෙන් යුතු වූ අදහස් යොදාගෙන පවුල ගොඩ නැඟීමයි. මෙතරම් කලක් එකම ක්‍රමයකට කරගෙන ආ දේවල්, දෙදෙනාගේම විවිධත්වයකින් යුතු වූ අදහස් යොදාගෙන විවිධ ක්‍රම වලින් සිදු කල හැකියි.

උදා: නිවසේ බඩු තැබිය යුතු ආකාරය ගැන වාද විවාද ඇති කර ගැනීම වෙනුවට දෙදෙනාගේම අදහස් මත ගෘහ අලංකරණය සිදු කල හැකියි.

පවුලක බැඳීම ආදරය බව තේරුම් ගත යුතුයි

සමහර පවුල් වල දෙමව්පියන් කෙළවරක් නොමැතිව දබර වෙනවා. නමුත් කෙසේ හෝ පවුල් ජීවිතයත් රැක ගන්නවා. ඉතින් බොහෝ විට එවැනි පවුල් වල දරුවන්ගේ සිතේ රැඳෙන ආදර්ශය වන්නේ රණ්ඩු දබර කිරීමෙන් සබඳතාවයට හානි නොවන බවයි. එවැනි දරුවන් විවාහ වූ පසු ආදරයෙන් ප්‍රශ්න විසඳා ගැනීම වෙනුවට, දබර කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නට පටන් ගන්නවා.

කරුණු පැහැදිලි කර දීමෙන් විසඳාලිය හැකි බොහෝ ප්‍රශ්න ඔවුන් දබර කර ගැනීම මඟින් දුර දිග යවනවා.

එකිනෙකාට ගරු කිරීම පවුල් ජීවිතය රැක ගැනීමට මඟ බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

මෘදු වචන භාවිතා කරන්න

වාද විවාද ඇති වීම වලක්වාලිය නොහැකි වුවත්, සැර පරුෂ වචන භාවිතා කිරීමෙන් වැළකීමට ඔබට හැකියාව තිබෙනවා. ඔබට අවශ්‍ය දේ පැවසීමේදී, යමක් පැහැදිලි කිරීමේදී, අනෙකා කල අඩුපාඩුවක් පිළිබඳව චෝදනා කිරීමේදී මෘදුව වචන හසුරුවන්න. එකිනෙකාගේ සිත් රිදවා ගැනීමට වඩා එය කෙතරම් අගනේද?

නැවතී හැරී බලන්න

ඔබ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී මඳ වෙලාවක් ගත වන විට නැවත හරි සිහියට පැමිණෙන්න. ඔබ මෙතරම් දබර කරන්නේ දබර කල යුතු කාරණාවකටදැයි ඔබෙන්ම අසන්න. සමහරුන් දබර වන්නේ මේසයට දැමිය යුත්තේ මොන වර්ණයෙන් යුතු මේස රෙද්දක්ද යන්න පිළිබඳව විය හැකියි. ඔබ දෙදෙනාගේ සබඳතාවයට වඩා එවැනි සුළු කරුණු වැදගත් වන්නේ කෙසේද?

SHARE